දකුණු පළාතෙන් ලාංකීය ක්‍රිකට් කණ්ඩායමට ප්‍රවිෂ්ඨ වන පින්නදූවගේ වනිදු හසරංග ද සිල්වා 1997 ජූලි 29 දින ගාල්ලේදී උපත ලබන අතර ඔහු සිය ක්‍රිකට් වංශකතාවේ මුල් අත්පොත් තබන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්..

ක්‍රිකට් ක්‍රීඩාව හදුනන පවුල් පසුබිමක් ඇති ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වාද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.
පන්දු යැවීම,පිතිකරණය හා පන්දු රැකීම යන අංශ තුනටම කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කරන වනිදු වර්තමානය වන විට ජාතික කණ්ඩායමේ සිටිනා දක්ෂතම කෝඩුකාරයා වේ.

2017 වසරේ ජාත්‍යන්තර එක්දින වරම් දිනාගන්නා වනිදු එම වසරේ ජූලි මාසයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී
සිම්බාබ්වේ සමග පැවති එක්දින තරගයේ අවසන් කඩුලු තුන අඛණ්ඩව දවා ගනු ලැබුවේ එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එමෙන්ම එක්දින ඉතිහාසයේ බංග්ලාදේශයේ තායිජූල් ඉස්ලාම්ට හා ද.අප්‍රිකාවේ කාගිසෝ රාබඩාට පමණක් දෙවැනි වෙමින් ඔහු තවත් වාර්තාවක් පිහිටවූයේ කඩුලු ත්‍රිත්වයක් එලෙස ලබා ගත් තෙවැන්නා බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලද 2018-2019 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් 33 දෙනාගේ ලයිස්තුවේද සිටි පිරිසෙන් එක් අයෙක් වූ වනිදු 2019 නවසීලන්තයට එරෙහිව පැවති 20-20 සංචිතයටද සුදුසුකම් ලබා තිබුණි.
එහිදී 2019 සැප්තැම්බර් 1 දින ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු සිය පළමු 20-20 කණ්ඩායමට නවසීලන්තය සමග ක්‍රීඩා කලේ එහිදීද සියල්ලන්ගේම අවධානය ඔහු සතුකරගනිමින්.

2019 වසරේ පාකිස්තානයේ පැවති ශ්‍රී ලංකා-පාකිස්තාන තරගමාලාවේ එකම විශේෂ දගපන්දු යවන්නා ලෙස වනිදු ඇතුළත් වූ අතර එම කණ්ඩායමේ සිටි නවකයින්ගේ හැකියාවන්ට ඔහුගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා එකතු කරමින් 20-20 ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි පකිස්තාන කණ්ඩායම 3-0 ලෙස අන්ත පරාජයට පත් කලේ තරගාවලියේ වීරයාද වෙමින්.
ඔහු දැනට එක්දින තරග 15කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 17 ක් ලබාගෙන ඇත..පිතිකරණයෙන්ද ලකුණු 190ක් ඔහු සතුය.
එමෙන්ම ශ්‍රී ලංකාව බටහිර ඉන්දිය කොදෙව්වන් සමග තිබූ තරගාවලියේදීද ප්‍රේක්ෂක සිත් සොරාගත් ක්‍රීඩකයා බවට පත් වූයේ ඔහුයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් මහතා පවසන විදියට “වනිදු දවසක ක්‍රිකට් ලෝකෙ හොල්ලාවි” කියන මතය වර්තමානයේ දෙස් විදෙස් සෑම ක්‍රිකට් ලෝලියෙක්ම තරයේ විශ්වාස කරන දෙයක්.

මාලිංගගෙන්,හේරත්ගෙන්,කුලසේකරගෙන් හිස් වූ කඩුලු ලබා ගැනීමේ කාර්‍යත්,
සංගා,මහේල,ඩිල්ෂාන් වැනි ප්‍රවීණයන් සමග ක්‍රිකට් පිටියෙන් ඉවත්ව ගිය පිතිහරඹයේ ගිණිකෙළි සංදර්ශනත්
කණ්ඩායමේ 11 දෙනාටම එහා ගිය අතිවිශිෂ්ට පන්දු රැකීමත් එකම ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වී අනාගතය දෙස බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයකයා සූදානම් නම් වචනයේ පරිසමාප්තයෙන්ම අනාගත ගැලවුම්කරුවා ඔහුයි..

සිය උපන් බිමෙන් උපන් ප්‍රවීණයා වූ ලසිත් මාලිංග ආශ්‍රයේ ක්‍රිකට් ලොව දැනුම සොයන හසරංග තවත් කින්ග් කෝලි කෙනෙක්වත්, යුනිවර්ස් බොස් කෙනෙක්වත් නොවී “වනිදු හසරංග ” ලෙසම සිය අනන්‍යතාවය ලෝකයාට ගෙනියාම සතුටට කරුණකි.