ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පත් කිරීම අද (2020.06.08) පෙරවරුවේ හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පීඨය වන මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 3ක් වන අතර මෙහි දැනට සිසුන් 1600කට පමණ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණික පීඨය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදි.

නව තාක්ෂණික පීඨය විවෘත කිරීමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් ද මෙහිදී නිකුත් කල අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් එම මුද්දරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ප්‍රදානය කලේය.

එහි මුල්දින කවරය තොරතුරු, ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන,තාත්ෂණික හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන්ට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සිහිවටනයක් ද ප්‍රදානය කලේය.

මේ අවස්ථාවට එම සංගමයේ සභාපති ඩබ්. කේ.එස්.වෑගපිටිය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, වැඩ බලන පීඨාධිපති රේණුකා නිල්මිණි මහත්මිය, අනෙකුත් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් ,පීඨාධිපතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම උත්සවය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.