ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංගම වයඹ ප්‍රාදේශිකයේ ඉංජිනේරු HMS හේරත් මහතා විසින් නිර්මාණය කෙරුනු විෂබීජ හරණ පද්ධතියක් සහිත ලොව ප්‍රථම බස් රථය අද නිල වශයෙන් හඳුන්වාදෙන ලදී.

මෙහිදී බස් රථයට ඇතුළුවන මගියා එහි පාපුවරුවේ ඉදිකළ කුටියක් තුළ සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව විෂබීජ හරණයට භාජනය වේ..එමගින් බස් රථය තුලට ගමන්ගන්නා මගියාගෙන් අනෙකුත් මගීන්ට විෂබීජ සංසරණය වීම වළක්වාගත හැකි බව එහි නිර්මාණකරුවන් පවසයි.

බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වන වායු පීඩක තාක්ෂණය සහ විදුලි මෝටර් ඇතුලු පරිපථ භාවිතයෙන් සම්පූර්ණ ස්වයංක්‍රීයව ඉතා ආරක්ෂිතව මෙය නිමවා ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

මෙය නිර්මාණය කිරීම සඳහා වැයවුනේ රුපියල් 10000ක පමණ මුදලක් බවද හැකි උපරිම මට්ටමින් සියලු බස් රථ සඳහා මෙම පද්ධතිය එකතුකිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් පවසා සිටී.